කොස්ගම ඇස්වත්ත දකුණ, කොස්ගහයටකඩේ ප්‍රදේශයේදී සිය මාමණ්ඩිය විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ බෑණනුවන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි. පවුල් ආරවුලක් හේතුවෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබේ.
මියගොස් ඇත්තේ පුවක්පිටිය ඇස්වත්ත උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දුෂාන් රංගන මායාදුන්න නැමැති අයෙකි. මියගිය පුද්ගලයා සිද්ධිය වූ අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවත්, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් වාර්තා වේ.
ඝාතනයට සම්බන්ධ සැකකාර මාමණ්ඩිය මේ වන විට කොස්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














