මතුරට පොලිස් වසමේ මානකොළ ප්‍රදේශයේ මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (අප්‍රේල් 12) රාත්‍රී කාලයේදී සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
මියගොස් ඇත්තේ මානකොළ, ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන්, අනෙක් පුද්ගලයා විසින් ලෑලි පටියකින් කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු ලෙස ඒළමුල්ල ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි තරුණයෙකු මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














