මාතර එලියකන්ද ප්‍රදේශයේ අවන්හලක් අසල වළක් හාරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයෙකු, පැය පහක දැවැන්ත මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (22) රාත්‍රියේ හැකි විය. වැලි මිශ්‍ර පස් තට්ටුවක් කඩා වැටීමෙන් සවස 4.00 ට පමණ මෙම අනතුර සිදුවූ අතර, මාතර මහ නගර සභා ගිනි නිවන ඒකකය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර ආධාරයෙන් රාත්‍රී 9.00 වන තෙක් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබුණි.
පස්වලට යටව සිටියදී බේරාගත් අදාළ පුද්ගලයා වහාම මාතර මහ රෝහලට ඇතුළත් කළ අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.














