කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට රෝහල් වාට්ටුවක් තුළදී ලිංගික අතවර කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඊයේ (26) වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. පෝද්දල ප්‍රදේශයේ පදිංචි පෙරියන් සෙල්වරාජ් නැමැති මෙම විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධි චෝදනා දෙකටම ඔහු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
මෙම අපරාධය සිදුව ඇත්තේ 2006 වසරේ ජනවාරි මාසය තුළදී වන අතර, විත්තිකරු සහ වින්දිත දරුවන් රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වසර 14ක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් ද, අනෙක් දරුවාට අඩම්තේට්ටම් කිරීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් පන් දහසක දඩයක් ද නියම කෙරිණි. මීට අමතරව වින්දිත දරුවෙකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට ද අධිකරණය නියෝග කළ අතර, දඩ සහ වන්දි නොගෙවන්නේ නම් අතිරේක සිර දඬුවම් ද විත්තිකරුට නියම විය.
අතවරයට පත් දරුවෙකු විසින් මේ පිළිබඳව වාට්ටුවේ වෛද්‍යවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සිර දඬුවම් නියම කිරීමේදී විත්තිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි කාලය පිළිබඳව ද සැලකිල්ලට ගන්නා බව විනිසුරුවරිය සඳහන් කළාය. ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ රජයේ නීතිඥවරුන් විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලදී.
















