පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු, ඇයගේ ගෙල අනියම් සැමියාගේ නිවසේ මිදුලට දමා අද (20) අලුයම නෙළුව පොලිසියට බාර වී තිබේ. මෙම බහිෂ්කාර සිදුවීම නෙළුව, සියඹලාගහහේන, හප්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි මහපටගේ ඉරේෂා මදුමාලි නමැති තිදරු මවකි. මියගිය කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් ඇති වී තිබේ.
අද අලුයම ඇතිවූ එවැනි ආරවුලක් අතරතුර, සැකකාර සැමියා තේ ගස් කපන පිහියකින් බිරිඳගේ ගෙල කපා ඇති අතර, පසුව එම ගෙල නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි අනියම් සැමියාගේ නිවසේ මිදුලට ගෙන ගොස් දමා ඇත. ඉන් අනතුරුව ඔහු නෙළුව පොලිස් ස්ථානය වෙත පැමිණ මෙසේ බාර වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














