ගෑස්, ඉන්ධන සහ ඖෂධ මිලදී ගැනීම්වල පවතින ඒකාධිකාරී මාෆියාවන් (Cartels) බිඳ දැමීමට ජනාධිපතිවරයා උත්සාහ කළද, වත්මන් රජය තුළම නව මාෆියාවන් නිර්මාණය වෙමින් පවතින බවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අනතුරු අඟවා තිබේ. ඊයේ (20) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එම උත්සාහය අගය කළ මන්ත්‍රීවරයා, රජයට හිතවත් ඇතැම් ආයතනික පාර්ශවයන් විවිධ මුහුණුවරින් නව ඒකාධිකාරයන් ගොඩනැගීමට උත්සාහ කරන බව පෙන්වා දුන්නේය. පරණ ක්‍රීඩකයින් වෙනුවට රජයට සම්බන්ධ අලුත් පිරිස් ඒකාධිකාරයන් අත්පත් කරගැනීමෙන් සැබෑ වෙනසක් සිදු නොවන බවත්, එක් මාෆියාවක් වෙනුවට තවත් මාෆියාවක් ආදේශ කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවත් ඔහු සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් අවධාරණය කළේය.














