හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 2023 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුත්තක් පෞද්ගලික සමාගමකට පැවරීම හරහා රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබේ.
අද දින මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ අදාළ විමර්ශන ගොනු මේ වන විට ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බවයි. එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අගෝස්තු මස 28 වැනිදා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස නියෝග කරමින් එදිනට නඩුව යළි කැඳවීමට නියම කළේය.














