ට්‍රම්ප් පරිපාලනය යටතේ අමෙරිකාව යුරෝපය සමඟ පවතින සබඳතා අත්නොහරින බවත්, එම මිතුදම තවදුරටත් ශක්තිමත් කරන බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) පවසයි. මියුනිච් ආරක්ෂක සමුළුවේදී (Munich Security Conference) විශේෂ දේශනයක් පවත්වමින් ඔහු කියා සිටියේ, අමෙරිකාවේ ඉරණම සැමවිටම යුරෝපා මහාද්වීපය සමඟ බද්ධ වී පවතින බවයි.
පසුගිය වසරේදී උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) යුරෝපා නායකයින් දැඩි ලෙස විවේචනය කළ ද, ඊට සාපේක්ෂව රූබියෝගේ ප්‍රකාශය වඩාත් මිත්‍රශීලී ස්වරූපයක් ගත්තේය. “අමෙරිකානුවන් වන අපගේ නිවහන බටහිර අර්ධගෝලයේ වුවද, අප සැමවිටම යුරෝපයේ දරුවෙකු වනු ඇත” යනුවෙන් ඔහු සඳහන් කළේය. යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් (Ursula von der Leyen) මෙම ප්‍රකාශය අගයමින් කියා සිටියේ එය ඉතා සහතිකදායක පණිවිඩයක් බවයි.
කෙසේ වෙතත්, යුරෝපයේ සංක්‍රමණික ප්‍රතිපත්ති, වෙළඳ ගිවිසුම් සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ක්‍රියාමාර්ග රූබියෝ මෙහිදී විවේචනය කළේය. විශේෂයෙන්ම යුරෝපය සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවිය යුතු බව ඔහු යළිත් අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විවේචනයට ලක් කළ ඔහු, යුක්රේන සහ ගාසා ගැටුම් විසඳීමට එම සංවිධානය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන්නේය.
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව සැබෑ උනන්දුවක් දක්වන්නේ දැයි තවමත් පැහැදිලි නැති බවත්, අමෙරිකාව ඒ පිළිබඳව දිගින් දිගටම අවධානයෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, යුද්ධය පවතින අතරතුර මැතිවරණ පැවැත්වීමට තමන් සූදානම් නැති බවයි.














