2025 වසරේ අගභාගයේදී බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් තුල්හිරිය MAS ෆැබ්‍රික් පාර්ක් පරිශ්‍රයේ පිහිටි ප්‍රකට ‘තුරුලිය’ (Thurulie) කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වෙනත් ස්ථානයකට ගෙන යාමට MAS කළමනාකාරිත්වය තීරණය කර තිබේ. මෙම කර්මාන්ත ශාලාව පහත් බිමක පිහිටා තිබීම සහ ජල මූලාශ්‍රවලට සමීප වීම හේතුවෙන් නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වන බවත්, තාක්ෂණික ඇගයීම්වලට අනුව යන්ත්‍ර සූත්‍රවලට සිදු වූ හානිය හමුවේ එහි අඛණ්ඩව කටයුතු පවත්වාගෙන යාම සේවකයන්ට සහ ව්‍යාපාරයට අවදානම් සහගත බවත් කළමනාකාරිත්වය අද (16) සේවකයන්ට දැනුම් දුන්නේය.
මෙහි සේවය කරන 1,600කට අධික සේවක පිරිසට වෙනත් MAS ආයතන වෙත මාරු වී සේවය කිරීමට පූර්ණ අවස්ථාව සලසා ඇති අතර, එලෙස මාරුවන සේවකයන් සඳහා මාස 3ක වැටුප් දිරි දීමනාවක් (Relocation Incentive) ලබාදීමට ද රජය තීරණය කර ඇත. මේ වන විටත් සේවකයන් 500කට අධික පිරිසක් වෙනත් මධ්‍යස්ථානවල තාවකාලිකව සේවයට එක්ව සිටිති. කෙසේ වෙතත්, පෞද්ගලික හේතූන් මත මාරුවීම් ලබාගත නොහැකි සේවකයන් සඳහා නීත්‍යානුකූල අවශ්‍යතාවලට වඩා වැඩි වන්දි පැකේජයක් සහ අනෙකුත් සියලු ව්‍යවස්ථාපිත දීමනා ලබාදීමට MAS කළමනාකාරිත්වය ප්‍රතිඥා දී තිබේ.














