ස්කොට්ලන්තයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන ග්ලාස්ගෝ සෙන්ට්‍රල් (Glasgow Central) ආසන්නයේ පිහිටි ඓතිහාසික සිව්මහල් ගොඩනැගිල්ලක හටගත් දැවැන්ත ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. පසුගිය ඉරිදා පස්වරු 4:00ට පමණ යූනියන් වීදියේ (Union Street) පිහිටි මෙම වාණිජ ගොඩනැගිල්ලේ පහළ මහලෙන් ගින්න ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 15ක් සහ උස් ස්ථාන කරා ළඟාවිය හැකි විශේෂ වාහන ඇතුළු විශාල පිරිසක් යොදවා ඇති අතර රාත්‍රී කාලය වන විටත් ගින්නෙහි දැඩි බවක් දක්නට ලැබුණි. මෙම අනතුරින් මෙතෙක් කිසිදු පුද්ගල ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවද ගොඩනැගිල්ලේ ව්‍යුහයට දැඩි හානි සිදුව ඇත. ස්කොට්ලන්තයේ පළමු අමාත්‍ය ජෝන් ස්විනී (John Swinney) මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇති අතර අනතුරුදායක ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම ගින්න හේතුවෙන් ග්ලාස්ගෝ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර එඩින්බර්ග් සහ ලන්ඩන් වැනි ප්‍රධාන නගර කරා දිවෙන දුම්රිය සේවාවන් රැසක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට බ්‍රිතාන්‍ය ජාතික දුම්රිය සේවය පියවර ගෙන තිබේ. ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් අදාළ වීථි ද වසා දමා ඇති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














