දිවයින පුරා විසිරී පවතින, එහෙත් මෙතෙක් විධිමත් ලෙස හඳුනා නොගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන දහසක් සුරැකීම සඳහා “ජීවයට උරුමයක්” නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහනේ මූලික අදියර ලෙස සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනාගැනීම සිදු කෙරේ. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ රාජ්‍ය මැදිහත්වීමට අමතරව ප්‍රාදේශීය මට්ටමින් ‘ප්‍රජා සංරක්ෂණ කමිටු’ පිහිටුවීමයි. අදාළ ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම සහ ආරක්ෂා කිරීමේ සෘජු වගකීම මෙම කමිටු වෙත පැවරෙනු ඇත.
විධිමත් ලියාපදිංචියක් නොමැතිකම නිසා විනාශ වෙමින් පවතින ඓතිහාසික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ප්‍රජා සහභාගීත්වය හරහා මෙවැනි ස්ථාන සුරැකීම මඟින් පුරාවස්තු කොල්ලකෑම් සහ හානි කිරීම් අවම කරගත හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.
ලංකාවේ අභ්‍යන්තර ගම්මානවල පිහිටා ඇති මෙතෙක් නාමගත නොකළ සෙල්ලිපි, පැරණි ඉදිකිරීම් සහ සොහොන් බිම් වැනි ස්ථාන රැසක් මෙම 1000ක ලැයිස්තුවට ඇතුළත් වීමට නියමිත බව සංස්කෘතික අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.














