බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක්, පොලිස් අණ ද නොතකා ධාවනය කරමින් තිබියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.
සැකකරුවන් විසින් බලපත්‍ර රහිතව මී ගවයන් තිදෙනෙකු සහ එළ ගවයන් දෙදෙනෙකු රන්න ප්‍රදේශයේ සිට ගාල්ල දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත. ඊයේ (30) අලුයම කාලයේදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ පොල්අතුමෝදර ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් මෙම ලොරි රථය පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට අණ කර තිබේ. එහෙත් පොලිස් අණ නොතකා සැකකරුවන් විසින් ලොරි රථය අධික වේගයෙන් ගාල්ල දෙසට ධාවනය කර ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදමින් ලුහුබැඳ ගොස් වැලිගම නගරයේදී රථය නවතා ගැනීමට කටයුතු කර ඇත.
එහිදී ලොරි රථය තුළ සිටි බලපත්‍ර රහිත මී ගවයන් තිදෙනා සහ එළ ගවයන් දෙදෙනා සමඟ බේරුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 45 ත් අතර පසුවන සැකකරුවන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසිය මගින් සිදු කරන අතර සැකකරුවන් මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වැටලීම කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි මහතාගේ අධීක්ෂණය මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් කසුන් චාමර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කර ඇත.














