මාතර දිස්ත්‍රික්කයේ රොටුඹ සහ ඌරුබොක්ක පොලිස් බලප්‍රදේශවලදී ඊයේ (03) රාත්‍රී සිදුකළ වැටලීම් දෙකකදී, විකිණීම සඳහා බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුම පිළිබඳව පවතින අවිනිශ්චිතතාව ප්‍රයෝජනයට ගනිමින්, වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොග රැස්කර තබාගන්නට ඇති බවට පොලිසිය සැක කරයි. රොටුඹ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව දම්පහල, නාරම්පල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බෝතල් 26ක අසුරන ලද පෙට්‍රල් ලීටර් 19.5ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඌරුබොක්ක පොලිසිය විසින් ඕමල්පේ, කෝප්පකන්ද ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී පෙට්‍රල් ලීටර් 25ක් ළඟ තබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෘත්තියෙන් ගොවියෙකු වන මොහු කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මෙම ඉන්ධන තොගය සන්තකයේ තබාගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. උප පොලිස් පරීක්ෂක අබේවික්‍රම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඉන්ධන තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














