මාතර රාහුල විද්‍යාලයේ ඊ. සවිත් ගිමිහාන සිසුවා මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනිමින් මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. විෂයන් තුනටම “A” සාමාර්ථ ලබාගත් ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් 09 වන ස්ථානයත්, දිවයිනෙන් 153 වන ස්ථානයත් හිමිකර ගෙන තිබේ. උපතින් නීරෝගී දරුවෙකු වුවද, 2008 වසරේදී මුහුණ දුන් අවාසනාවන්ත රිය අනතුරකින් සිය පියා අහිමි වී, සවිත්ගේ ඉනෙන් පහළ ප්‍රදේශය සදාකාලිකවම අප්‍රාණික විය. එතැන් සිට රෝද පුටුවකට සීමා වූ ඔහුගේ ජීවිතය, අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨානය පිළිබඳ මනා පූර්වාදර්ශයක් සපයයි.
සවිත්ගේ මෙම ජයග්‍රහණය පිටුපස සිටින දැවැන්තම ශක්තිය වන්නේ ඔහුගේ දිරිය මවයි. සිය ස්වාමිපුරුෂයා අහිමි වීමේ ශෝකය දරා ගනිමින්, ආබාධිත තත්ත්වයට පත් එකම පුතු වෙනුවෙන් ඇය සිය ජීවිතයම කැප කළාය. පුතු පාසලට සහ උපකාරක පන්ති වෙත රැගෙන යාම සඳහා ඇය විසින්ම ත්‍රිරෝද රථයක් පදවමින් ඉටුකළ මෙහෙය අතිමහත්ය. පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක් සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් “A” සාමාර්ථ 09ක් ලබාගනිමින් සවිත් පියවරෙන් පියවර පැමිණි ගමන, අද වන විට වෛද්‍යවරයෙකු වීමේ ඔහුගේ කුඩා කල සිහිනය අභියසටම පැමිණ තිබේ.
මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වූ සවිත්, විෂය සමගාමී කටයුතුවලින් ද දක්ෂතා රැසක් පෙන්වූ සිසුවෙකි. තමන් සතු කායික දුබලතා දෙස බලා පසුතැවිලි නොවී, සිතේ ශක්තියෙන් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බව ඔහු මුළු මහත් සමාජයටම පසක් කර දී ඇත. තමන් මුහුණ දුන් අඳුරු අතීතය පන්නරයක් කරගනිමින් සවිත් ලබාගත් මෙම ජයග්‍රහණය, බාධක හමුවේ පසුබසින දහස් සංඛ්‍යාත තරුණ පරපුරට ජීවමාන ආදර්ශයකි.
– වැලිගම තරංග ගුණරත්න














