මධ්‍යපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවා තුනක් වන එමිරේට්ස් (Emirates), කටාර් එයාර්වේස් (Qatar Airways) සහ එතිහාඩ් (Etihad) යන ගුවන් සමාගම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) හදිසි අවස්ථාවලදී භාවිත කළ හැකි මධ්‍යස්ථානයක් (Contingency Hub) ලෙස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු මධ්‍යපෙරදිග ගුවන් සීමාවන් බහුලව වසා තැබීම නිසා මෙම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් මෙහෙයවීමට විකල්ප ස්ථානයක් සොයමින් සිටී.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල මේ වන විට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින නමුත් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මත්තල ගුවන් තොටුපොළේ ඇති මීටර් 3,500ක් දිගැති ධාවන පථය Airbus A380 සහ Boeing 777 වැනි දැවැන්ත ගුවන් යානා ගොඩබැස්වීමට සුදුසු වුවද, විශාල යානා සංඛ්‍යාවක් නැවැත්වීමට ඇති ඉඩකඩ (Parking facilities) සීමිත වීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවකි. මීට අමතරව, මෙම ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට අවශ්‍ය ඉංජිනේරු සේවා, ආහාර සැපයුම් (Catering) ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීමට ද රජයට සිදු වේ.
ඇමරිකානු ඩොලර් මිලියන 210ත් 247ත් අතර පිරිවැයකින් 2013 වසරේදී විවෘත කරන ලද මත්තල ගුවන් තොටුපොළ මේ වන විට සීමිත මෙහෙයුම් සඳහා පමණක් භාවිතා කෙරේ. විශේෂයෙන් රුසියාවේ සිට පැමිණෙන සංචාරක ගුවන් යානා සඳහා දැනට එය විවෘතව පවතින අතර, ලෝකයේ ප්‍රධානතම ගුවන් සේවා තුනක් මෙලෙස මත්තල තොටුපොළ ඉල්ලා සිටීම ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට මෙන්ම මත්තල ව්‍යාපෘතියට ද නව මාවතක් විවෘත කිරීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














