සුප්‍රසිද්ධ ‘ෆ්‍රෙන්ඩ්ස්’ (Friends) ටෙලි කතා මාලාවේ රංගන ශිල්පී මැතිව් පෙරීගේ (Matthew Perry) මරණයට හේතු වූ මත්ද්‍රව්‍ය ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ, “කැටමයින් රැජින” (Ketamine Queen) ලෙස හැඳින්වෙන ජස්වීන් සංගා හට ඇමරිකානු අධිකරණයක් විසින් වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ. 42 හැවිරිදි සංගා, මරණයට හෝ ශාරීරික හානියට හේතු වන අයුරින් කැටමයින් බෙදා හැරීම ඇතුළු චෝදනා පහකට පසුගිය සැප්තැම්බර් මාසයේදී වරද පිළිගත්තාය. මැතිව් පෙරී 2023 ඔක්තෝබර් මාසයේදී ඔහුගේ නිවසේ තිබූ උණු වතුර තටාකයක මියගොස් සිටියදී හමු වූ අතර, මරණ පරීක්ෂණයේදී තහවුරු වූයේ අධික ලෙස කැටමයින් ශරීරගත වීම මරණයට හේතුවී ඇති බවයි.
ලොස් ඇන්ජලීස් හි පිහිටි සංගාගේ නිවස ධනවත් පාරිභෝගිකයන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. ඇයගේ නිවස වැටලීමේදී කැටමයින් බෝතල් රැසක් මෙන්ම කොකේන්, මෙතම්පෙටමින් සහ එක්සැනැක්ස් වැනි මත්ද්‍රව්‍ය දහස් ගණනක් ද සොයාගෙන ඇත. දඬුවම නියම කිරීමට පෙර මැතිව් පෙරීගේ ඥාතීන් අධිකරණය හමුවේ හැඟීම්බර ප්‍රකාශ සිදු කළ අතර, සංගා ද සිය වැරදි සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් අධිකරණය හමුවේ හැඬූ බව වාර්තා වේ.
මැතිව් පෙරීගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පස්දෙනා අතරින් සංගා ප්‍රධානියෙකු වන අතර, පෙරීගේ සහායකයා සහ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෙසු පිරිසට ද දැනටමත් දඬුවම් නියම කර තිබේ. මෙහිදී වෛද්‍ය සැල්වදෝර් ප්ලසෙන්සියාට මාස 30ක සිරදඬුවමක් සහ වෛද්‍ය මාර්ක් චාවේස් හට නිවාස අඩස්සියේ දඬුවම් නියම විය. වසර ගණනාවක් පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් මිදීමට සටන් කළ මැතිව් පෙරීගේ දුර්වලතාවයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ලාභ ලැබීම සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වී ඇත.
















