ලොව සිව්වරක් ෆෝමියුලා වන් (F1) ශූරතාව දිනූ මැක්ස් වර්ස්ටැපන් පවසා ඇත්තේ වත්මන් එෆ් වන් තරග රටාව මීට වඩා විනෝදජනක විය යුතු බවයි. නව නීති රීති හමුවේ මෝටර් රථ ධාවනය කිරීමේදී පැරණි උද්‍යෝගය ගිලිහී ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම එන්ජින්වල ශක්තිය කළමනාකරණය කිරීමට (Energy management) වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා රියදුරන් සතු සැබෑ දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට ඇති ඉඩකඩ සීමා වී ඇති බව ඔහුගේ අදහසයි.
මෙවර ඕස්ට්‍රේලියානු ග්‍රෝ ප්‍රී (Australian Grand Prix) තරගයේදී 20 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා පැමිණීමට වර්ස්ටැපන් සමත් වුවද, ඔහු පවසන්නේ වත්මන් මෝටර් රථ ධාවනය කිරීමෙන් තමා සතුටක් නොලබන බවයි. කෙසේ වෙතත්, ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහසක් නොමැති බවත්, පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා තමා ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අදහසට සුපිරි ක්‍රීඩක ප්‍රනාන්දු ඇලොන්සෝ සහ ලැන්ඩෝ නොරිස් ද සහය පළ කරති. ඇලොන්සෝ පෙන්වා දෙන්නේ පෙර පැවති තරගවලදී අධික වේගයෙන් හැසිරවිය යුතු වංගුවලදී රියදුරාගේ නිර්භීතකම සහ හැකියාව මැන බැලුණු නමුත්, වත්මන් මෝටර් රථවල බැටරි ආරෝපණය කර ගැනීම සඳහා එම වංගුවලදී වේගය පාලනය කිරීමට සිදුවන බවයි. මේ හේතුවෙන් එෆ් වන් ක්‍රීඩාවට ආවේණික වූ සීමාවන් අභිබවා යාමේ අභියෝගය ගිලිහී ගොස් ඇති බව ක්‍රීඩකයෝ මැසිවිලි නගති.













