ගුප්ත විද්‍යා ප්‍රසාදිනී සහ දේශබන්දු වැනි උසස් ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා සමාජය ඉදිරියේ දිරිය කාන්තාවක ලෙස පෙනී සිටිමින් කාලාන්තරයක් තිස්සේ මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත වූ 65 හැවිරිදි කාන්තාවක් මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදවච්චිය පන්සල පාරේ පිහිටි නිවසක් වටලා සිදුකළ මෙම පරීක්ෂාවේදී, ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. මෙම වැටලීම සිදුකර ඇත්තේ මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුවය.
විමර්ශනවලදී අනාවරණය වූ වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම සැකකාරිය 2022 වසරේදී පදනමක් මඟින් සංවිධානය කරන ලද උත්සවයකදී “ගුප්ත විද්‍යා ශිරෝමණී, ප්‍රජා ප්‍රසාදනී, දිරිය කාන්තා, ජනරංජන ශ්‍රී, දේශබන්දු” යන ගෞරව නාමයන් සහිත දේශාභිමානී සම්මානයකින් පිදුම් ලබා තිබීමයි. ඇය මෙම සම්මාන ලබාගන්නා වකවානුව වන විටත් අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව සිටි තැනැත්තියක බව පොලිසිය පවසයි. සමාජ ගෞරවය සහ සම්මාන මුවාවෙන් ඇය දීර්ඝ කාලයක සිට ප්‍රදේශය පුරා මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයේ රඳවා තබා ඇත. මෙවැනි ගෞරව නාමයන් පිරිනැමීමේදී අදාළ පුද්ගලයන්ගේ පසුබිම නිසි ලෙස පරීක්ෂා නොකිරීම පිළිබඳව ද මේ වන විට සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර ඇයගේ බැංකු ගිණුම් සහ දේපළ පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.














