මෙරටට බාල තත්ත්වයේ ඇස් බෙහෙත් සහ අනෙකුත් ඖෂධ ආනයනය කළ ඖෂධ සමාගම්වලින් මෙතෙක් කිසිදු දඩ මුදලක් අයකර ගැනීමට වත්මන් රජය පියවර ගෙන නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේදී නීතිපතිවරයා මාර්ගයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගෙන දඩ මුදල් අයකර ගත්තද, වත්මන් පාලනය යටතේ එවැනි ක්‍රියාමාර්ගයක් දක්නට නොලැබෙන බවයි.
බාල ඇස් බෙහෙත් භාවිතය නිසා පෙනීම අහිමි වූ රෝගීන්ගෙන් සුළු පිරිසකට පමණක් මේ වන විට වන්දි ලැබී ඇති අතර, අනෙකුත් පීඩාවට පත් රෝගීන්ට වන්දි ලබාදීම තවමත් ප්රහේලිකාවක්ව පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය. එසේම පසුගිය පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදුවූ බවට සැක කෙරෙන මරණ 100කට ආසන්න සංඛ්‍යාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒවා තහවුරු කිරීමට වත්මන් බලධාරීන් කටයුතු කර නොමැති වීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
බාල ඖෂධ ආනයනය කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබූ අතර, හිටපු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව දැනට පවතින නඩු පවා සිවිල් සංවිධානවල පැමිණිලි මත මිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඒවා නොවන බව වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වන සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පවසන රජය, ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ ඖෂධ සමාගම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට කරුණක් බවද ඔහු අවධාරණය කළේය.














