බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ළමුන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක පවතින අඛණ්ඩ සැපයුම අඩාල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කරයි. එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ, වලිප්පුව පාලනය සඳහා ලබාදෙන ‘Ethosuximide’ වැනි ඖෂධ රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් දෙමාපියන්ට ඒවා පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බවයි. වලිප්පුවට අමතරව ළමා හතිය (Asthma), වකුගඩු ආබාධ සහ විශේෂ සායන මගින් ලබාදෙන ඖෂධවල ද හිඟයක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, පවතින ආර්ථික අපහසුතා හමුවේ මසකට රුපියල් 30,000ක් වැනි මුදලක් ඖෂධ සඳහා වැය කිරීම සාමාන්‍ය දෙමාපියන්ට දැරිය නොහැකි බරක් බව අවධාරණය කරයි.
මෙම ඖෂධ හිඟය හේතුවෙන් දරුවන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වී ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, රජය වහාම මැදිහත් වී ඖෂධ සැපයුම යථා තත්ත්වයට පත් කළ යුතු බව වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි.
















