මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් සහ ගුවන් මාර්ග දිගින් දිගටම අවහිර වුවහොත් මෙරට ඖෂධ සැපයුමට එල්ල විය හැකි බලපෑම අවම කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර සංවිධාන තුනක් සමඟ විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) සමඟ මෙම හදිසි මිලදී ගැනීම් පිළිබඳව දැනටමත් සාකච්ඡා පවත්වන බවයි.
ගුවන් සහ නාවික ප්‍රවාහන ප්‍රමාදයන් හමුවේ අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වනු ලබයි. මේ අතර ඉරානයෙන් මෙරටට ලැබෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් දැනට මාස හතරක කාලයකට ප්‍රමාණවත් පරිදි තොග පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අවශ්‍ය වුවහොත් තවදුරටත් එම ඖෂධ ලබා දීමට ඉරාන රජය එකඟතාව පළ කර ඇති අතර පවතින ගෝලීය අර්බුදය හමුවේ රෝහල් පද්ධතියේ ඖෂධ කළමනාකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර වශයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.














