අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට ඔහුගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක මුලසුන හෙබවීමත් සමඟ ඇය ලෝක ඉතිහාසයට එක් වී තිබේ. 2026 මාර්තු මාසය සඳහා ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය අමෙරිකා එක්සත් ජනපදයට හිමිව ඇති අතර, ඒ අනුව ඊයේ (මාර්තු 02) නිව්යෝර්ක් නුවරදී පැවති මෙම ඓතිහාසික රැස්වීමේ මුලසුන ඇය විසින් දරන ලදී.
ලොව බලවත්ම ජාත්‍යන්තර ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 15 දෙනෙකුගෙන් යුත් සාමාජික රටවල් හමුවේ මුලසුන හෙබවූ පළමු අමෙරිකානු ජනාධිපති ආර්යාව මෙන්ම ලොව පළමු රාජ්‍ය නායක බිරිඳ ද වන්නේ මෙලානියා ට්‍රම්ප් මහත්මියයි. මීට පෙර ජනාධිපති ආර්යාවන් මෙම මණ්ඩලය ඇමතූ අවස්ථා තිබුණද, සභාපතිත්වය දරමින් රැස්වීමක් මෙහෙයවූ පළමු අවස්ථාව මෙය වේ.
“ගැටුම් පවතින කලාපවල දරුවන්, තාක්ෂණය සහ අධ්‍යාපනය” (Children, Technology, and Education in Conflict) යන තේමාව යටතේ මෙම රැස්වීම පැවැත්විණි. එහිදී ඇය අවධාරණය කළේ අධ්‍යාපනය යනු ලෝක සාමය සහ සහජීවනය ඇති කිරීමේ මූලික පදනම බවයි. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය හරහා ලෝකයේ ඕනෑම දුරස්ථ ප්‍රදේශයක සිටින දරුවන්ට දැනුම ලබා දීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමක පවතින මොහොතක මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි. මෙම රැස්වීම සඳහා වන සැලසුම් යුද්ධය ආරම්භ වීමට පෙර සකස් කර තිබූ අතර, ඉරානයේ පාසලකට එල්ල වූ බව කියන ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී විවිධ පාර්ශවවල අවධානය යොමු විය.














