අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට අධික වත්කම් උපයා ගත් බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (16) කොළඹ මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණි. අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන, දේපළ සහ බැංකු ගිණුම් අයථා ලෙස අත්පත් කර ගැනීම හරහා දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. මීට පෙර අවස්ථාවකදී මර්වින් සිල්වා මහතා මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.














