කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දෙන ලදී. ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් සියලු දෙනාගේම විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාර දෙන ලෙසද දන්වා සිටියේය. මීට අමතරව, එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අමතර ශරීර ඇපයක් මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළාය.
මෙලෙස අධිචෝදනා ලැබ ඇප මත මුදා හැරුණු පිරිස අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ (සිංගප්පූරු සරත්) යන අය වෙති. විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියහ.














