ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලයනල් මෙසී සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී පැවැති හමුවීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙසී නායකත්වය දරන ඉන්ටර් මියාමි (Inter Miami) කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී සිදුවූ ඇතැම් සිදුවීම් මෙම විවේචනවලට මුල් වී තිබේ.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් විසින් මෙසීගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් ඉහළ ප්‍රශංසාවක් ලබා දුන් අතර, ලයනල් මෙසී විසින් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිදුකළ කෙටි පැහැදිලි කිරීමක් අගය කිරීම බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට හේතු වී ඇත. ලෝක ප්‍රජාව මැදපෙරදිග යුද වාතාවරණය පිළිබඳව දැඩි සංවේදීතාවයකින් පසුවන මොහොතක, මෙසී වැනි ගෝලීය ප්‍රතිරූපයක් සහිත ක්‍රීඩකයෙකු දේශපාලනික වශයෙන් මෙවැනි ස්ථාවරයක් ගැනීම සුදුසු නොවන බව විවේචකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම මියාමි කණ්ඩායමේ නායකයා ලෙස ඔහු මෙවැනි දේශපාලනික හමුවීම්වලට සහභාගී වීම සහ අමෙරිකානු ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්ති වක්‍රව හෝ අගය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා වෙසෙන ඔහුගේ රසිකයන් අතර විවිධ මත ගැටුම් නිර්මාණය වී තිබේ. මෙම සිදුවීමත් සමඟ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ද අලුතින් සංවාදයක් ගොඩනැගී ඇත.














