ඇඟට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ත් 55 ත් අතර අගයක පවතින බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය අනුව ඇඟට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ අගයක පවතින බව එම දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියි. මෙම උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි සතිය පුරාම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දවල් කාලයේ පවතින මෙම අධික උණුසුම සමඟ සවස් කාලයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කුඩා ළමුන් සහ වැඩිහිටි පුරවැසියන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් උපදෙස් දෙයි. මෙම පිරිස්වලට උෂ්ණාධික කාලගුණයෙන් එල්ල වන බලපෑම වැඩි බැවින් ඔවුන් ආරක්ෂිතව සහ සජලීව (හොඳින් ජලය පානය කරමින්) තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එළිමහනේ සේවය කරන පුද්ගලයන් සිය සේවා කාලය අවම කර ගැනීමට හෝ විවේකීව කටයුතු කිරීමට වගබලා ගත යුතුය. උෂ්ණත්වය හේතුවෙන් යම් ශාරීරික අපහසුතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අනවශ්‍ය බියක් ඇති කර නොගෙන, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ වැදගත් වේ.














