ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) උදෑසන නිවේදනය කළේය. විශේෂයෙන් ඌව පළාතේ මෙන්ම මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. උතුරු පළාත, අනුරාධපුරය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
වර්ෂාවට අමතරව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක් තද සුළං විටින් විට හැමිය හැකිය. තවද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් රියදුරන් මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.













