ලොව ප්‍රකට සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගම සිය ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, මින් ඉදිරියට පරිගණකයක් හරහා Messenger සේවාව ලබා ගැනීමට නම් පරිශීලකයින්ට Facebook ප්‍රධාන වෙබ් අඩවිය (facebook.com/messages) හරහා පිවිසීමට සිදුවනු ඇත. මෙම වෙනස සිදුවූ පසු, messenger.com වෙත පිවිසෙන පුද්ගලයින් ස්වයංක්‍රීයව Facebook පණිවුඩ හුවමාරු අංශය වෙත යොමු කෙරෙනු ඇති බව සමාගම සිය සහාය පිටුව (Help Page) හරහා නිවේදනය කර ඇත.
මෙම තීරණය වඩාත් තදින් බලපානු ලබන්නේ සක්‍රීය Facebook ගිණුමක් නොමැතිව Messenger සේවාව පමණක් භාවිතා කරන පුද්ගලයින්ටය. එවැනි පරිශීලකයින්ට මින් ඉදිරියට සිය පණිවුඩ පරීක්ෂා කිරීම සඳහා ජංගම දුරකථන යෙදුම (Mobile App) භාවිතා කිරීමට පමණක් අවස්ථාව හිමිවන අතර, වෙබ් අඩවිය හරහා පිවිසීමට ඇති අවස්ථාව අහිමි වේ. එසේම, මීට පෙර Windows සහ Mac සඳහා පැවති Messenger Desktop App සේවාව ද නතර කර ඇති බැවින්, Meta සමාගම උත්සාහ කරන්නේ සියලුම සේවාවන් Facebook ප්‍රධාන වේදිකාව සමඟ යළි ඒකාබද්ධ කිරීමට බව පැහැදිලි වේ.
මෙම වෙනස පිළිබඳව බොහෝ පරිශීලකයින් සිය නොසතුට පළ කර ඇති අතර, විශේෂයෙන්ම Facebook ගිණුම් අක්‍රීය කර Messenger පමණක් භාවිතා කරන්නන්ට මෙය විශාල බාධාවක් වනු ඇත. කෙසේ වෙතත්, ස්වාධීන වෙබ් අඩවි සහ යෙදුම් පවත්වාගෙන යාමේ පිරිවැය අවම කර ගැනීම සඳහා Meta සමාගම මෙම උපායමාර්ගික පියවර ගෙන ඇති බව තාක්ෂණික වාර්තා පෙන්වා දෙයි. 2008 වසරේ “Facebook Chat” ලෙස ආරම්භ වී පසුව වෙන්වූ Messenger සේවාව, වසර ගණනාවකට පසු නැවතත් සිය මව් ආයතනය වන Facebook සමඟම බද්ධ වෙමින් පවතී.














