සංවිධානාත්මක අපරාධකරුවකු වන සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ සහෝදරයාගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත, ඉන් එක් සැකකරුවෙකුගේ නිවසේ වළ දමා තිබූ උණ්ඩ 109 ක් සොයා ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත්ව තිබෙනවා.
කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා වන සනත් ද සිල්වා නොහොත් ‘රාජු’ නමැත්තාගේ නිවසේ රැඳී සිටි මෙම සැකකරුවන් සිව්දෙනා ඉකුත් 30 වනදා අලුයම ඇල්පිටිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මොවුන් කරන්දෙණිය සුද්දාගේ ප්‍රතිවාදී කල්ලියක ප්‍රබලයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී අනාවරණය වූ තොරතුරු මත මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි එක් සැකකරුවකුගේ නිවස පිටුපස වළ දමා තිබියදී මෙම උණ්ඩ තොගය හමුවී තිබෙනවා. මෙලෙස සොයාගත් උණ්ඩ අතර ටී-56 (T-56) ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 96 ක් සහ මිලිමීටර් 9 (9mm) වර්ගයේ උණ්ඩ 13 ක් අඩංගු වන බව මීටියාගොඩ පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.














