නාගරික සහ අර්ධ නාගරික මහල් නිවාසවල පදිංචි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘Metro Uplift’ ජාතික වැඩසටහන අද (31) කොලොන්නාව, සාලමුල්ල ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මහල් නිවාස සංකීර්ණ 24ක භෞතික සහ සමාජීය නවීකරණ කටයුතු සිදු කෙරේ. කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා පමණක් 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,288.7ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි සෝපාන අලුත්වැඩියාව සහ අලුතින් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක පිළිසකර කිරීම, ළමා උද්‍යාන වැඩිදියුණු කිරීම, විධිමත් කසල කළමනාකරණය සහ පොදු යටිතල පහසුකම් නංවාලීම සිදු කෙරේ. මීට අමතරව පදිංචිකරුවන්ගේ කායික හා මානසික සුවපහසුව වෙනුවෙන් ප්‍රජා සවිබල ගැන්වීමේ සහ සමාජ සජීවීකරණ වැඩසටහන් ද මෙයට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර සහ අධ්‍යක්ෂ ජනරාල් දමිත් දිසානායක ඇතුළු නිලධාරීන් සහ පදිංචිකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.















