ලොව දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) මත්ද්‍රව්‍ය කල්ලි නායක නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටේස් හෙවත් ‘එල් මෙන්චෝ’ (El Mencho) මෙක්සිකෝ හමුදාව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ (22) මියගොස් තිබේ. මෙක්සිකෝවේ ටපල්පා නගරයේදී හමුදාව සහ මත්ද්‍රව්‍ය කල්ලිය අතර ඇති වූ දරුණු ගැටුම්වලදී ඔහු බරපතල තුවාල ලැබූ අතර, ප්‍රතිකාර සඳහා අගනුවර වෙත රැගෙන යමින් සිටියදී මියගිය බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු බුද්ධි අංශ සහාය ද හිමි වී ඇති අතර, එල් මෙන්චෝ අල්ලා දීම සඳහා ඇමරිකාව මීට පෙර ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
සිය නායකයාගේ මරණයත් සමඟ කුපිත වූ CJNG සාමාජිකයන් මෙක්සිකෝවේ ප්‍රාන්ත අටක වාහන ගිනි තබමින් සහ මාර්ග බාධක යොදමින් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් සංචාරක කලාප රැසක ආරක්ෂාව දැඩි කර ඇත. වසර 2010 සිට මෙක්සිකෝව පුරා මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ 59 හැවිරිදි එල් මෙන්චෝ, ඇමරිකාවට කොකේන් සහ ෆෙන්ටැනයිල් වැනි මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රවාහනය කිරීමේ ප්‍රධානියා ලෙස සැලකේ. මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව පසුවන ලෙසයි. කෙසේ වෙතත්, මෙම මරණයත් සමඟ ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම මෙක්සිකෝ රජයට දැඩි අභියෝගයක් වී තිබේ.















