මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය කල්ලි නායකයෙකු වූ ‘එල් මෙන්චෝ’ හමුදා මෙහෙයුමකින් මියයාමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් එරට ප්‍රාන්ත රැසක දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබේ. ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කාර්ටලයේ සාමාජිකයන් විසින් මහා මාර්ග අවහිර කරමින් බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන ගිනි තබමින් පවතින අතර, මීට ප්‍රතිචාර වශයෙන් එයාර් කැනඩා, යුනයිටඩ් එයාර්ලයින්ස් සහ ඒරෝමෙක්සිකෝ වැනි ප්‍රධාන ගුවන් සමාගම් ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන පුවර්ටෝ වල්ලර්ටා (Puerto Vallarta) වෙත ගුවන් ගමන් අවලංගු කර ඇත. සිය නායකයාගේ මරණයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවත්, ඉදිරියේදී බලය අල්ලා ගැනීම සඳහා කල්ලිය අභ්‍යන්තරයේ දරුණු ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් කාර්ටල් සාමාජිකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජලිස්කෝ ප්‍රාන්තයේ හමුදා මුරපොළවල් වෙත ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා සංචාරකයින්ට හෝටල් තුළම රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ. ගුවාඩලජාරා (Guadalajara) ඇතුළු ප්‍රධාන නගරවලින් කළු දුමාරය නැඟෙන අයුරු දැකගත හැකි අතර, එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක නගරයක් වීම නිසා මෙම තත්ත්වය දැඩි අවධානයට ලක්ව ඇත. මෙක්සිකෝ ජනාධිපතිනිය රටේ සාමාන්‍ය ජනජීවිතය අඩාල වී නැති බව පැවසුවද, ඇමරිකානු හිටපු තානාපති ක්‍රිස්ටෝපර් ලෑන්ඩෝ ප්‍රකාශ කළේ ත්‍රස්තවාදී ස්වරූපයෙන් එල්ල වන මෙම ප්‍රතිප්‍රහාර හමුවේ නොසැලී සිටිය යුතු බවයි.















