2014 මාර්තු 8 වනදා මැලේසියාවේ පෝලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී අභිරහස් ලෙස අතුරුදන් වූ MH370 යානය සොයා ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් දීර්ඝ කරන ලෙස එහි සිටි මගීන්ගේ පවුල්වල සාමාජිකයන් මැලේසියානු රජයෙන් ඉල්ලා සිටී. අදට (මාර්තු 08) මෙම අවාසනාවන්ත සිදුවීමට වසර 12ක් සපිරෙන අතර, ලොව විශාලතම ගුවන් සේවා අභිරහස විසඳා ගැනීමට ඔවුන් මෙලෙස රජයට බල කර සිටියි.
මෙම මෙහෙයුමේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු මෙසේය. පසුගිය වසරේදී මැලේසියාව Ocean Infinity නම් ගැඹුරු මුහුදේ ගවේෂණ සිදු කරන සමාගම සමඟ “සොයා නොගත්තේ නම් ගාස්තු නැත” (No find, no fee) යන පදනම මත නව ගිවිසුමකට එළඹුණි. ඒ අනුව යානයේ සුන්බුන් සොයාගතහොත් පමණක් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ගෙවීමට එකඟ වී තිබුණි.
කෙසේ වෙතත්, මැලේසියානු ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය අද ප්‍රකාශ කළේ දින 28ක් පුරා අදියර දෙකක් යටතේ ඉන්දියන් සාගර පත්ලේ වර්ග කිලෝමීටර් 7,571ක ප්‍රමාණයක් පරීක්ෂා කළද මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි. මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමඟ අතුරුදන් වූ බෝයිං 777 යානය සොයා මීට පෙරද අවස්ථා කිහිපයකදී දැවැන්ත මෙහෙයුම් දියත් කළද ඒවා සියල්ල අසාර්ථක විය.














