අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ප්‍රධාන යුදෙව් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු 41 හැවිරිදි අයිමන් මොහොමඩ් ගසාලි නැමැති ලෙබනන් සම්භවයක් සහිත අමෙරිකානු පුරවැසියෙකු බව අමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ. ෆොක්ස් නිව්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි මොහු ඩියර්බෝන් හයිට්ස් නගරයේ පදිංචිකරුවෙකි.
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ලෙබනනයේදී සිය පවුලේ සාමාජිකයන් අහිමි වීම නිසා ඇති වූ කෝපය මත මොහු මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට ඩියර්බෝන් හයිට්ස් නගරාධිපති මෝ බේඩවුන් සැක පළ කරයි. සැකකරු එරට වේලාවෙන් දහවල් 12:30 ට පමණ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ්හි පිහිටි ‘ටෙම්පල් ඉස්රායල්’ නම් යුදෙව් දේවස්ථානයට සිය වාහනය වේගයෙන් ධාවනය කර හප්පා ඇති අතර අනතුරුව රයිෆලයක් ද රැගෙන රථයෙන් බැස එහි සිටි ආරක්ෂක නිලධාරීන් සමඟ වෙඩි හුවමාරුවක නිරත වී ඇත.
එහිදී ආරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ. අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් ද මෙම ප්‍රහාරකයාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම ප්‍රහාරයත් සමඟ අමෙරිකාව තුළ පවතින ආගමික හා වාර්ගික නොසන්සුන්තා පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇත.















