පසුගියදා සහතික කරන ලද ‘2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත’ (Microfinance and Credit Regulatory Authority Act) බලාත්මක කිරීමට පෙර, ප්‍රජා මූලික ඉතිරිකිරීමේ සහ ණය දීමේ ආයතන නියාමනය කිරීම සම්බන්ධයෙන් රජය සහ සිවිල් සංවිධාන අතර නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම මතභේදයන් කරළියට පැමිණ ඇති අතර, සහභාගී වූ පාර්ශව පවසන්නේ එම හමුව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූවන්ගේ ගැටලු සහ ප්‍රජා මූලික මූල්‍ය පද්ධතීන්ට මෙම නව නීතිය මඟින් එල්ල වන බලපෑම මෙහිදී දැඩි අවධානයට ලක් විය.
ප්‍රජා මූලික ඉතිරිකිරීමේ සහ ණය සේවා සපයන්නන්ගේ ජාතික එකමුතුව නියෝජනය කළ සුනෙත් අරුණ කුමාර මහතා ප්‍රකාශ කළේ, ප්‍රජා මූල්‍ය පද්ධතියේ යථාර්ථය පිළිබඳව බලධාරීන්ට නිසි අවබෝධයක් නොමැති බවයි. මෙම ආයතන පනතෙන් නිදහස් කරන ලෙස (Exemption) ඔවුන් ඉල්ලා සිටියද, රජය විසින් ලබාදුන් පිළිතුරු අපැහැදිලි බව ඔහු සඳහන් කළේය. පර්යේෂක අමාලි වෙදගෙදර මහත්මිය ද මෙම සාකච්ඡාව විවේචනයට ලක් කරමින් කියා සිටියේ, පනත සම්මත කිරීමට පෙර සිවිල් සංවිධානවලට අවස්ථාවක් ලබා නොදී, දැන් හුදෙක් කාර්යපටිපාටික අවශ්‍යතාවයක් සඳහා පමණක් මෙවැනි හමුවීම් පවත්වන බවයි. දත්ත සහ සමීක්ෂණ වාර්තා සැපයීමේ වගකීම රජය සතු වුවද, එය සිවිල් සංවිධාන මත පැටවීමට රජය උත්සාහ කරන බවට ද ඇය චෝදනා කළාය.
කෙසේ වෙතත්, ආර්ථික සංවර්ධන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, මෙම ක්ෂේත්‍රයේ පවතින විවිධත්වය හේතුවෙන් නියාමන කටයුතු සංකීර්ණ වී ඇති බවයි. කුඩා කණ්ඩායම්වල සිට රුපියල් බිලියන ගණනක වත්කම් පාලනය කරන ආයතන දක්වා මෙම ක්ෂේත්‍රය විහිදී ඇති බැවින්, පොදු නියාමන රාමුවක් සැකසීමට පෙර ‘ප්‍රජා මූල්‍ය’ යන්න නිවැරදිව අර්ථ දැක්විය යුතු බව ඇය පෙන්වා දුන්නාය. පනත බලාත්මක වීමට පෙර පවතින අඩුපාඩු සමාලෝචනය කර නිවැරදි කිරීමට මාස හයක කාලයක් පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය සංකල්ප පත්‍රිකාවක් (Concept Paper) සකස් කිරීමට එකඟතාව පළ වූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
















