ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා වන “ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට” කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (මාර්තු 20) සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව, 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත අද සිට මෙරට නීතියක් ලෙස නිල වශයෙන් බලාත්මක වේ.
මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් සහිත නව අධිකාරියක් මෙමඟින් පිහිටුවනු ලැබේ. බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම මෙහි ප්‍රධාන වගකීමයි.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් ණය ලබාගන්නා සාමාන්‍ය ජනතාව සූරාකෑමට ලක්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම අධිකාරියේ ප්‍රධාන අරමුණකි. මේ සඳහා මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට නව අධිකාරියට බලතල හිමිවේ.
මෙම නව පනත බලාත්මක වීමත් සමඟ, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි (Repeal) කෙරේ. 2025 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පත 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා පාලනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














