මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උග්‍ර යුදමය තත්ත්වය සහ ගුවන් ගමන් බිඳ වැටීම් හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් සේවාවන්හි බරපතල ප්‍රමාදයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා තැපැල්පති රුවන් සත්කුමාර මහතා අද (මාර්තු 03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපය හරහා සිදුවන ගුවන් ගමන් අත්හිටුවීම සහ වෙනත් මාර්ග ඔස්සේ ගුවන් යානා පියාසර කිරීම නිසා තැපැල් මලු ප්‍රවාහනය කිරීමට සෘජුවම බාධා එල්ල වී ඇති අතර, මෙය මැදපෙරදිග රටවලට පමණක් නොව යුරෝපය සහ ඇමෙරිකාව වැනි කලාප වෙත යොමු කරන තැපැල් භාණ්ඩවලට ද බලපානු ඇත.
මෙම තත්ත්වය හමුවේ විදේශයන් වෙත ලිපි හෝ පාර්සල් යොමු කරන පාරිභෝගිකයන් මෙම ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, තත්ත්වය යහපත් වන තෙක් තැපැල් අයිතම භාර දීමේදී යම් ප්‍රමාදයක් බලාපොරොත්තු විය යුතු බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ රටවල් රැසක ගුවන් තොටුපළවල් ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන (Transit Hubs) ලෙස ක්‍රියා කරන බැවින් ලෝකයේ අනෙකුත් රටවල් වෙත සිදුවන තැපැල් හුවමාරුවට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
අද (මාර්තු 03) වන විට පවතින තත්ත්වය අනුව අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර්, කුවේට්, බහරේන්, ඕමාන්, ඉරාකය, ජෝර්දානය, ඉරානය, ලෙබනනය සහ ඊශ්‍රායලය වැනි රටවල් වෙත තැපැල් සේවා සැපයීමේදී වැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර තැපැල් වාර්තා ද පෙන්වා දෙයි.
















