මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට පවතින බිය හමුවේ, අද (05) උදෑසන ආසියානු වෙළඳපොළේ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගොස් තිබේ. බදාදා දිනය අවසානයේ නොවෙනස්ව පැවති අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල අද උදෑසන වන විට 1.86% කින් ඉහළ ගොස් ඩොලර් 76.05 ක් ලෙස සටහන් විය. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල ද ඉහළ අගයක පවතින අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින අවදානම මීට ප්‍රධානතම හේතුව වී ඇත.
ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් ගමන් කරන්නේ මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින්, ඉරානය විසින් එහි පාලනය තමන් සතු බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර වෙළඳපොළේ දැඩි කැළඹීමකට හේතු විය. ඉකුත් පැය 24 තුළ පමණක් ඕමාන් සහ එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නෞකා හතරකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. මෝල්ටා රාජ්‍යයට අයත් බහාලුම් නෞකාවක සිටි සේවකයන් 24 දෙනෙකු බේරා ගැනීමට ඕමාන් නාවික හමුදාවට ද සිදු විය.
මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු නාවික හමුදාව තෙල් නැව් සඳහා ආරක්ෂාව සැපයීමට සූදානම් බවයි. එසේම නෞකා සඳහා රක්ෂණ පහසුකම් ලබා දීමට ද අමෙරිකාව ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදය නිසා ආසියානු කොටස් වෙළඳපොළවල් අද උදෑසන දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර, ආයෝජකයන් පසුවන්නේ දැඩි අවිශ්වාසයකිනි. බලශක්ති සැපයුම අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමේ තර්ජනයකට මුහුණ දීමට සිදු විය හැකිය.












