අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති දරුණු යුදමය ගැටුම් සිව්වැනි දිනටත් ව්‍යාප්ත වීමත් සමඟ අද (03) ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් දැවැන්ත පසුබෑමකට ලක් විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ KOSPI දර්ශකය 6.5% කින් ද, ජපානයේ Nikkei 225 දර්ශකය 3% කින් ද පහත වැටුණු අතර, ඕස්ට්‍රේලියාවේ සහ චීනයේ වෙළෙඳපොළ දර්ශක ද සැලකිය යුතු ලෙස අගය අඩු කර ගත්තේය. මැදපෙරදිග ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීම හේතුවෙන් කොරියන් එයාර් (Korean Air) සහ ජපන් එයාර්ලයින්ස් (Japan Airlines) වැනි ගුවන් සේවාවල කොටස් මිල 6% සිට 9% දක්වා දරුණු ලෙස කඩාවැටීමට ලක්ව තිබේ.
මේ අතර ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට කරන තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 13% දක්වා ඉහළ ගිය අතර, යුරෝපීය ගෑස් මිල 50% කින් පමණ වාර්තාගත ලෙස ඉහළ ගියේය. කටාර් රජයට අයත් කටාර් එනර්ජි (QatarEnergy) ආයතනය එල්ල වූ ප්‍රහාර හමුවේ සිය ස්වාභාවික වායු නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීම ද මෙම ආර්ථික කම්පනයට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳව ආයෝජකයින් දැඩි අවධානයෙන් පසුවේ.














