ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීමත් සමඟ අද (04) තෙවන දිනටත් ආසියානු කොටස් වෙළඳපොළවල් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම දකුණු කොරියාවේ සහ තායිලන්තයේ කොටස් වෙළඳපොළ දර්ශක සියයට 8 කට වඩා පහත වැටීම හේතුවෙන්, කලබලකාරී ලෙස කොටස් අලෙවි කිරීම පාලනය කිරීමට පනවන ‘Circuit Breakers’ ක්‍රමය මගින් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන්ට සිදු විය.
ගෝලීය තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත. ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජන හමුවේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී. මීට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ලෝකයට අවශ්‍ය බලශක්ති සැපයුම බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා ඇමරිකානු නාවික හමුදාවේ සහාය ලබා දෙන බවයි.
ජපානයේ නිකේයි (Nikkei) දර්ශකය සියයට 3.6 කින් ද, හොංකොං හි හෙංසෙං (Hang Seng) දර්ශකය සියයට 2.5 කින් ද පහත වැටුණු අතර, මැදපෙරදිගින් වැඩි වශයෙන් ඉන්ධන ආනයනය කරන ආසියානු රටවලට මෙම යුදමය තත්ත්වය දැඩි ආර්ථික බලපෑමක් එල්ල කරමින් තිබේ.














