ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය මධ්‍යයේ අබුඩාබි සිට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙත පැමිණි පළමු ගුවන් යානයේ මගීන් තමන් අත්විඳි භීතිකාමය අත්දැකීම් විස්තර කර තිබේ. පසුගිය සෙනසුරාදා සිට මැදපෙරදිග ගුවන් සීමාවන් වසා දැමීම නිසා ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක් අතරමංව සිටින අතර, එම කලාපයේ වෙසෙන බ්‍රිතාන්‍ය පුරවැසියන් ලක්ෂ තුනක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය රජය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි. සඳුදා පස්වරුවේ ලන්ඩනයට ළඟා වූ මෙම යානයේ මගීන් පවසා සිටියේ තමන් හෝටල්වල රැඳී සිටින විට තමන්ට ඉහළින් මිසයිල ගමන් කරන අයුරු සහ ඒවා අහසේදීම විනාශ කරන (Interceptions) අයුරු සියැසින් දුටු බවයි.
ශ්‍රී ලංකාවේ පාපැදි සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටියදී අබුඩාබිහි අතරමං වූ පෙන් හැරිසන් පවසා සිටියේ, “අපට පිපිරුම් හඬවල් ඇසුණා, සමහර වෙලාවට ඒ කම්පනය අපට දැනුණා… අපේ උදේ ආහාරය මතට අළු වැටෙන මට්ටමට ඒ පිපිරුම් දරුණු වුණා” යනුවෙනි. තවත් මගියෙකු වන 31 හැවිරිදි සාහිබ් මතුරා පවසා සිටියේ ගුවන් යානයට ගොඩවන මොහොතේ පවා තමන්ට ඉන් පිටවීමට ඉඩ ලැබේද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් පැවති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් ජනතාවට ජනේලවලින් ඈත්ව සිටින ලෙස නිරන්තරයෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩ එවා තිබූ අතර, අබුඩාබි ගුවන් තොටුපොළේ වීදුරු පවා පුපුරා ගොස් තිබූ අයුරු තමන් දුටු බව සංචාරකයින් පවසයි.
ඩුබායි නගරයේ තත්ත්වය මීට වඩා දරුණු බව වාර්තා වේ. එරට ප්‍රධාන සංකේතයක් වන බර්ජ් අල් අරාබ් (Burj Al Arab) හෝටලය සහ ජෙබෙල් අලි වරාය ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තහවුරු කර තිබේ. මේ වන විට ඉරානය, ඉරාකය, කුවේට්, ඉශ්‍රායලය, බහරේනය සහ කටාර් යන රටවල ගුවන් සීමාවන් සම්පූර්ණයෙන්ම පාහේ හිස්ව පවතින බව Flightradar24 දත්ත පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් බ්‍රිතාන්‍ය පුරවැසියන් 102,000ක් ලියාපදිංචි වී ඇති බවයි. බ්‍රිතාන්‍ය රජයෙන් නිසි සහයක් නොලැබුණු බවට ඇතැම් සංචාරකයින් චෝදනා කළද, ගුවන් සමාගම් විසින් තම මගීන් ආරක්ෂිතව රැගෙන යාමට ගත් උත්සාහය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. තවමත් දහස් සංඛ්‍යාත පිරිසක් මැදපෙරදිග කලාපයේ අතරමංව සිටින අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ඉදිරි දින කිහිපය තුළ තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














