මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සඳහා පිහිටවූ විශේෂ කමිටු හතරෙන් එකක් වන “විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධනය සැලසීම සඳහා වන කමිටුව” ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී අද (18) රැස් විය. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මැදපෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය සහතික කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
යුදමය තත්ත්වය නිසා ස්වයං රැකියා සහ ගෘහ කර්මාන්තවල නියැලෙන්නන් හට ඇතිවිය හැකි බාධා අවම කරමින් ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.
දරුවන් සඳහා සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැපයීම, ළමා හා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන මෙන්ම වැඩිහිටි හා ආබාධිත ප්‍රජාව සඳහා වන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමට තීරණය විය.
ඕනෑම හදිසි අවස්ථාවකදී සහන සැලසීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ඉරාන ආරක්ෂක ප්‍රධානියාගේ ඝාතනයත් සමඟ කලාපීය තත්ත්වය උග්‍ර වී ඇති පසුබිමක මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාව වී තිබේ.














