මැදපෙරදිග කලාපීය ආර්ථිකයට එල්ල වී ඇති දැඩි තර්ජනය හමුවේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන සක්‍රීය යුදමය ක්‍රියාමාර්ග සඳහා සහාය වීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සෘජුවම සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇවිළී ගිය මෙම යුද්ධය මේ වන විට මුළු මහත් ගල්ෆ් කලාපයටම ව්‍යාප්ත වී ඇති අතර, සෞදි අරාබිය සිය සීමාවන් තුළ ඇති ගුවන් කඳවුරු භාවිතා කිරීමට ඇමරිකානු හමුදාවන්ට අවසර ලබා දීම ඉරානයට එරෙහි මෙහෙයුම්වල තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස සැලකේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කරනු ලැබීම හේතුවෙන් ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමීර් රාජ්‍යයේ සහ සෞදියේ සංචාරක කර්මාන්තයට මෙන්ම තෙල් හා ගෑස් නිෂ්පාදනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) සියලුම රටවල් මේ වන විට දැඩි පීඩනයකට පත්ව සිටී. “සෞදි අරාබිය යුද්ධයට අවතීර්ණ වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි” යනුවෙන් සෞදි විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පෙන්වා දෙන්නේ ගල්ෆ් රටවල ඉවසීම දැන් සීමා වී ඇති බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායලය එක්ව ගන්නා ඇතැම් යුදමය තීරණ සම්බන්ධයෙන් ගල්ෆ් නායකයන් සිය අප්‍රසාදය ද පළ කර ඇත. විශේෂයෙන්ම ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේදී පූර්ව දැනුම්දීමක් නොකිරීම පිළිබඳව ඔවුන් කනස්සල්ලෙන් පසුවේ. මෙම යුද්ධයේ මූලික අරමුණ වන්නේ ඉරානයේ න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන් අඩපණ කරමින් කලාපීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ලැබෙන සහාය නතර කිරීම බව ඊශ්‍රායල නායකයෝ අවධාරණය කරති. ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම දක්වා මෙම මෙහෙයුම් දිගු විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














