ඉරානයේ සහ කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල වූ දරුණු මිසයිල සහ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අද (19) උදෑසන වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5% කට වඩා වැඩි වෙමින් ඇමෙරිකානු ඩොලර් 109.91 ක් ලෙස වාර්තා විය. ඉරානයේ ‘සවුත් පාර්ස්’ වායු නිධියට අයත් පෙට්‍රොකෙමිකල් සංකීර්ණයට සහ කටාර්හි ‘රාස් ලෆාන්’ කාර්මික කලාපයට එල්ල වූ ප්‍රහාර මීට සෘජුවම බලපා ඇති අතර බ්‍රිතාන්‍යයේ ස්වභාවික වායු මිල ද 6% කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, මෙම මිල ගණන් පසුගිය මාර්තු 09 වනදා වාර්තා වූ උපරිම මිල වන ඩොලර් 116.78 ට වඩා තවමත් පවතින්නේ අඩු මට්ටමකය.














