මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු ඉහළම අගය වාර්තා කර තිබේ. විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා බහුලව භාවිතා කරන මෙම ලෝහයේ මිල ලන්ඩන් ලෝහ හුවමාරුවේදී (London Metal Exchange) සියයට 3කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඇලුමිනියම් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 3,401ක් ලෙස සටහන්ව ඇත.
කලාපයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම සඳහන් කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට ප්‍රහාරවලින් දැඩි හානි සිදුවී ඇති බවයි. මේ අතර ඇලුමිනියම් බහරේන් (Alba) සමාගම ද තම මධ්‍යස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට තක්සේරු කරමින් සිටින බව වාර්තා වේ. මෙම ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා අක්‍රිය වීම ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති.














