මැදපෙරදිග කලාපයේ ඇවිළෙමින් පවතින යුදමය ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ නැව් ගාස්තු ඉහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ බලපෑම් එල්ල කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ‘සීටී ස්මිත් ස්ටොක් බ්‍රෝකර්ස්’ (CT Smith Stock Brokers) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආනයන වියදම් ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් නව උද්ධමනකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.
ශ්‍රී ලංකාව ශුද්ධ තෙල් ආනයනය කරන රටක් වීම නිසා ගෝලීය තෙල් මිල ඉහළ යාම මෙරට බලශක්ති පිරිවැය ඉහළ නැංවීමට සෘජුවම බලපාන අතර, ගෝලීය අවිනිශ්චිතතාවය හමුවේ ආයෝජකයින් ඇමෙරිකානු ඩොලරය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම නිසා රුපියල මත දැඩි පීඩනයක් එල්ල වී තිබේ. මීට අමතරව, රක්ෂණ වාරික සහ බහාලුම් ප්‍රවාහන ගාස්තු (Freight rates) ඉහළ යාම නිසා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
ගුවන් සීමා අවහිරතා හේතුවෙන් සංචාරක පැමිණීම්වල තාවකාලික පසුබෑමක් දක්නට ලැබුණද, එය විකල්ප මාර්ග ඔස්සේ යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තීරණය වන්නේ මැදපෙරදිග ගැටුම් පවතින කාලසීමාව සහ ගෝලීය වෙළඳපොළේ ස්ථාවරත්වය මත බව විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.














