මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය සහ ඉන් මෙරටට එල්ල වන බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට අවම වශයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (02) ප්‍රකාශ කළේ මේ සම්බන්ධ යෝජනාව හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය මුල්කරගත් මෙම යුදමය තත්ත්වය දීර්ඝ කාලයක් පවතිනු ඇති බවට ලැබෙන තොරතුරු හමුවේ, මැදපෙරදිග වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ රැකියා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් රජය සතු විය යුතුය. එමෙන්ම, මෙරට ආර්ථිකයට එල්ල වන සෘජු බලපෑම් සහ දැනටමත් මතුවෙමින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනියත බිය දුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේදී විමසීමට විපක්ෂය අපේක්ෂා කරයි.
මෙරට තේ අපනයනයට සහ විදේශ ප්‍රේෂණවලට මෙමගින් සිදුවන දැවැන්ත හානිය වැළැක්වීමට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් විවාද කිරීමට නියමිතය. මෙම ජාතික වැදගත්කමකින් යුත් කරුණ සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි විපක්ෂය විශ්වාසය පළ කරයි.














