මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුණහොත් ශ්‍රී ලංකාව දැඩි ‘ගෙවුම් ශේෂ’ (Balance of Payment) අර්බුදයකට මුහුණ දීමට ඉඩ ඇති බව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥ තලාල් රාෆි මහතා අනතුරු අඟවයි. අද දෙරණ සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ගෝලීය තෙල් මිල ඉහළ යාම මෙන්ම කලාපීය පිරිපහදුවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් නිෂ්පාදනය අඩාළ වීම මෙරට ආර්ථිකයට සෘජුව බලපාන බවයි. තෙල් මිලට අමතරව ආහාර මිල ඉහළ යාම හරහා ලෝක උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔහු පුරෝකථනය කරයි.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් පමණ වැය කරන අතර, තෙල් මිල 10%කින් ඉහළ යාම පවා රජයේ ජංගම ගිණුමට දරාගත නොහැකි බරක් වනු ඇති බව රාෆි මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්, එය විදේශ ප්‍රේෂණ (Remittances) සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම්වලට ද බරපතල ලෙස බලපානු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














