ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිවේදනය කරයි. පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව මිලියන සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
යුනිසෙෆ් වාර්තාවන්ට අනුව, ඉරානය සහ ලෙබනනය තුළ පමණක් දරුවන් 291 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 200 දෙනෙකුම ඉරාන දරුවන් වේ. විශේෂයෙන්ම ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 117 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එය ඉරාන හමුදාවේ ඉලක්කය වැරදීමකින් සිදු වූවක් විය හැකි බවයි.
ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එරට වැසියන් 50,000කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති අතර, ඉන් වැඩි පිරිසක් දරුවන් බව වාර්තා වේ. මැදපෙරදිග කලාපය පුරා වෙසෙන මිලියන 200ක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විනාශකාරී යුද්ධය වහා නතර කරන ලෙසත්, මානුෂීය පදනමින් කටයුතු කරන ලෙසත් යුනිසෙෆ් සංවිධානය ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය යන රටවලින් දැඩිව ඉල්ලා සිටියි.













