සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ අද (30) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව මෙරට අධිකරණ කිහිපයක නඩු පවරා ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් මීට පෙර ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණි.
ඕමානයේ සුපිරි හෝටලයක රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දීමට පියවර ගැනුණි. දිවයිනට රැගෙන ආ සැකකරුගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.















